All for Joomla All for Webmasters
 

presidents_message

mr_sirimal_peiris

විවිධ හැලහැප්පිලි බාධක මැද අප දසවන වර්ෂ පූර්ණ සම්මේලනය කොළඹ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හොටෙල් පරිශ‍්‍රයේදීි පැවැත්වීමට තරම් වාසනාවන්තවීමු. වාසනාව යනු අවාසනාව පරාජය කොට අමාරුවෙන් හා ධෛර්යෙන් පෙරට යාමෙන් ලබා ගත යුතු සංකේතයක් මිස කවුරුන්වත් බන්දේසිය තබා ලබා දෙන තෑග්ගක් නොවන බව සිහි තබා ගත යුතුවේ.

හිමිදිරි උදෑසන හයට පමණ හිරු උදාවී, හවස් යාමයේ හයට පමණ හිරු බැස යද්දී බොහෝදෙනා සුව නින්දකට අර අදින බව අපි දනිමු. එහෙත් සුව නින්ද පලවා හැර අවට පරිසරය දෙස නෙත් යොමුකර රාත‍්‍රී සහ අඳුර මැදින් පුවත්පත් අලෙවි වෘත්තියේ යෙදෙන අලෙවි කරුවා සිය සේවාව අරඹන්නේ දැඩි කැපවීමකින් හා අධිෂ්ඨානශීලී බවකිනි.

මෙවන් වෘත්තියක යෙදෙන හා ජාතික සේවාවක නියුතු වන පුවත්පත් අලෙවි කරුවා ඇගයීමට මෙතෙක් කිසිදු ආයතනයක් හෝ සංවිධානයක් බිහි නොවූ නිසා එම අඩුපාඩුව සපිරීමට පුවත්පත් අලෙවි නියෝජිත සමාගම බිහි වූ බව මෙහිලා දක්වන්නේ නිහතමානී ගෞරවයකිනි.

කලින් අප පෙනී සිටියේ කොළඹ දිස්ත‍්‍රික්කයේ පුවත්පත් අලෙවි නියෝජිත සංගමය ලෙසිනි. එහෙත් දිවයිනේ බොහෝ අලෙවි නියෝජිතවරුන්ගේ බලවත් ඉල්ලීම පරිදි අප සංගමය ඉකුත් 2007 දෙසැම්බර් 18 වන සිට දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ක‍්‍රියා කළ බව සතුටින් දන්වමු.

‘‘පානදුරා වාදය’’ ලෙස අති ප‍්‍රසිද්ධ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ පාදස්පර්ශය ලැබූ කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ මෙයට දසවසරකට පෙර අප සංගමය බිහිකිරීම සැබවින්ම අප ලැබූ විරෝධාර හා එඩිතර ක‍්‍රියා මාර්යකට අවතීර්ණවීමට සකසා දුන් සුවිශේෂී පසුබිමක් ලෙස පෙන්නුම් කළ යුතුව තිබේ.

සංවිධානය බිහිවීමට මත්තෙන් තර්ජන ගර්ජන රැුවුම් ගෙරවුම් ඇතිතරම් භුක්ති විදීමට මටත් මගේ නිලධාරී මණ්ඩලයටත් අනන්තවත් සිදුවිය. එහෙත් අපි පසු නොබෑවෙමු.

සෙසු බොහෝ ප‍්‍රකාශණ සමාගම් අප සංගමයට සවන්දීමට අවස්ථාවක් දීම කල් දමද්දී ලක්බිම ප‍්‍රකාශණ සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ වත්මන් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ගරු තිලංග සුමතිපාල මැතිතුමා අපව දිරිමත් කිරීමට සාකච්ඡුාවකට ඉඩසැලසීම සැබවින්ම මේ ගමන මෙතෙක් දුර ඒමට මහත් රුකුලක් විය. ඉන් අනතුරුව සාකච්ඡුා සඳහා ප‍්‍රසිද්ධ පුවත්පත් ප‍්‍රකාශණ සමාගම් අපට අත දීමටත් අගුලූ ලා තිබූ දොරවල් විවෘත කිරීමටත් පටන් ගත්හ.

බොහෝදෙනා අප සංගමයේ ක‍්‍රියාකාරීත්වය හරි හැටි වටහා නොගෙන බුද්ධි ගෝචර නොවන නොයෙක් මත ප‍්‍රකාශ කළහ. අප වෘත්තීය සමිතියකැයි ඇතැමෙක් චෝදනා කළහ. ගල්මුල් පහර එල්ල කිරීම් ද සිදුවිය. අදටත් ඇතැමුන් අප දෙස බලන්නේ අවිශ්වාස දීගයකට අත දිගුකරන පිරිසක් දෙස බලන බියකිනැයි හැෙඟ්.

සත්‍ය එය නොවේ. ශ‍්‍රී ලංකාව තුළ පුවත්පත් කොමිෂන් සභාවක්. පුවත්පත් ප‍්‍රකාශණ සංගමයක්, කර්තා සංසදයක්, ක‍්‍රියාත්මක වන කල පුවත්පත් අලෙවි නියෝජිත සංගමයක් බිහිවීමේ වරද කිමදැයි ඇසූ ප‍්‍රශ්නයට බොහෝ දෙනා පිළිතුරක් දීමට නොහැකිව බලා සිටිනු අප දැක ඇත්තෙමු.

අද දින දිවයිනේ දිස්ත‍්‍රික්ක 22 ආවරණය වන පරිදි අලෙවිකරණ පුවත්පත් ප‍්‍රමාණයෙන් නොව ඉතා ජ්‍යෙෂ්ඨ පුවත්පත් අලෙවි නියෝජිත පිරිසක් සම්මාන පදක්කම් පලඳවා ගෞරවාචාරයට පත් කිරීමේ වේදිකාවක් සැලසීමට හැකිවීම අපගේ සොම්නසට හේතුවෙනු ඇත.

පැරණි පුවත්පත් සමාගම් මූලාශ‍්‍ර කොට ගෙන පැරණි අලෙවි කරුවන්ගේ නම්ගම් සෙවීම අපට අතිමහත් දුෂ්කර ක‍්‍රියාවක් වූයේ එවැනි පිරිස සියයකට වැඩි වුවත් එය සීමිත සංඛ්‍යාවකට සීමා කිරීම අප ආමරුවෙන් වුවත් කළ යුතු සත් ක‍්‍රියාවක් වූ බැවිනි. එයට හේතු කාරනා බොහෝය. ඒවා මෙහි නොදක්වමු.

අප මෙතෙක් පුවත්පත් සමාගම් සමග සාකච්ඡුාකර ලබාගත් හා ලබා ගතයුතු කරුණු කාරණා මෙහි වෙනත් පිටුවක සඳහන් කර ඇත. හාරදහසක් පමණ දිවයින පුරා විසිරී සිටින පුවත්පත් අලෙවි නියෝජිත, උප නියෝජිත පවුල් සංරක්‍ෂණය කරා ඔවුනට ප‍්‍රීතිමත් විශ‍්‍රාම දිවියක් ගත කිරීමට මං පෙත සැලසීම අප සංගමයේ ලොකුම බලාපොරොත්තුව වෙයි. මේ සඳහා ඔබ සැම අප සංගමය සමග අත්වැග් බැද දැඩි සංයමයකින් යුතුව අනාගතය වෙත පියමං කරනු ඇතැයි උදක්ම විශ්වාස කරමු.

ඔබ සැමට ජය ශ‍්‍රී!

සී.එච්. සිරිමල් පීරිස්
කොළඹ උතුර හදිසි මරණ පරීක්ෂක,
කොළඹ දිස්ත‍්‍රික් සමථ මණ්ඩල සභික,
කළමනාකාර අධ්‍යක්ෂක,
සී/ස පුවත්පත් අලෙවි නියෝජිතයින්ගේ (ගරන්ටි) සමාගම.